"මගේ ගම රාජාංගනය - පුංචි කාලේ පෝලියෝ හැදිල ඉස්‌කෝලෙ යන්න බැරිවුණා. නමුත් අවුරුදු හතේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වෙලා 8 වැනි ශ්‍රේණිය දක්‌වා ගියා. අපේ අම්මා, තාත්තා මම නිසා ගොඩාක් දුක් වින්දා. ඉස්‌කෝලෙ යනකොට එයාල කවුරු හරි යන්න ඕනෑ. ආපහු එන කොටත් යන්න ඕනෑ. ගොවිතැනින් ඉතාම අමාරුවෙන් කන්න අඳින්න දෙන අම්මා තාත්තට තවත් කරදර දෙන්න බැහැ කියල හිතුන නිසා ඉස්‌කෝලෙ යන ගමන නතර කළා.
පුංචිම කාලේ ඉඳන් මගෙ දකුණු අතයි දකුණු කකුලයි පණ නැහැ. හැබැයි ඇවිදින්න, මගේ පෞද්ගලික වැඩකරගන්න පුළුවන් වුණා. ආබාධිත දරුවො ඉගෙන ගන්න ඉස්‌කෝලෙකට ඇතුල්කරල උගන්වන්නවත් වෙනත් රැකියාවකට පුහුණුවක් දෙන්නවත් මගේ අම්මා තාත්තට දැනුමක් නැහැ. "අසනීප කාරයා" කියල පවුලෙ අය මගෙන් කිසිම වැඩකට උදව්වක් ගත්තෙ නැහැ. නමුත් මට පුළුවන් විදිහට ගෙදර වැඩ වලටත් උදව් කළා.
මගෙ වියදම හොයාගන්න මට මොනවා හරි රස්‌සාවක් කරන්න ඕනෑ වුණා. මම ගමේ ඇවිදල පොල් අතු එකතු කළා. අම්මා පොල්කූරු සුද්ද කරල දුන්නා. ගමේම තිබුණු පරණ මාළුටින් ටිකත් එකතු කළා. අම්මාට තාත්තට කියල ඉදල් වලට ලී මිටි කපා ගත්තා. එක තැනකට වෙලා බොහොම ඉවසීමෙන් මම ඉදල් හදන්න පුරුදු වුණා. මුල් කාලේ ගොඩාක් දෙනෙක් මගෙන් ඉදල් ගත්තෙ මං ගැන අනුකම්පා කරල. නමුත් පස්‌සෙ මගේ ඉදල් හොඳ නිසා විකිණුනා. මං මගේ වියදම හොයාගෙන අම්මාට ගෙදර වියදමටත් සල්ලි දුන්නා.
ඔහොම ඉන්න කොට 1998 අවුරුද්දෙ මම යාළුවෙකුගෙ ගෙදර ආව සිරිපුර. ඒ ගමනෙදි තමයි මෙයාව අඳුන ගත්තේ" සිසිර තම බිරිඳ එන්. ජී. චන්ද්‍රdකුසුම් පෙන්වමින් සිනාසෙන්නට විය.
"අපේ මුල්ගම් කෑගල්ලෙ. ඉඩම් ලැබිල මහවැලියට ආවේ මීට අවුරුදු 20 කට කලින්. අපේ අම්මා තාත්තට ලැබුණු ඉඩම සහෝදරයාට දුන්නා. මම කුලී වැඩ කරන්න පටන් ගත්තා.
මඩ වැඩ කාලෙට වගේම ගොයම් කැපෙන කාලෙට අපිට වැඩ තියෙනවා. එහෙම වැඩකට ගිය දවසක තමයි මම සිසිර මුණගැහුණේ. සිසිර මත්පැන් දුම්වැටි පාවිච්චි නොකරන ගුණයහපත් කෙනෙක් නිසා මට හිතුනා එයා මට ගැළපෙනවා කියලා. අපි ගෙවල් දෙකටම මේ ගැන කිව්වා. දෙපැත්තෙම අය ආශිර්වාද කළා. නමුත් එයාල අපිට උදව් කරන්න පුළුවන් මට්‌ටමක නැහැ. අක්‌කර භාගෙක ගොඩ ඉඩම් කොටසක් මහවැලියෙන් අපිට ලැබුණා. දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමරවික්‍රම මහත්තයා අපිට ජීවත්වෙන්න ගොඩක් උදව් උපකාර කළා.
ගොයම් කපන කාලෙට මම කුලියට යනවා. සිසිර ගෙදරට වෙලා ඉදල් හදනවා. හවසට මම ගෙදර ඇවිත් සිසිරගෙ වැඩ වලට උදවු වෙනවා. ගොයම් වැඩ නැති දවස්‌වලට මම කැලේ ගිහිං ඉදල්වල මිටි වලට ඕනෑ ලී කපනවා. ඒ අතරෙම අපි බයිසිකල් වලට පැච් දාන්න පුංචි වින්කලයක් පටන් ගත්තා. ඉදල් විකුණන්න මුල් දවස්‌වල මම ගෙයින් ගෙට ගියා. පස්‌සේ එකතු කරපුq සල්ලි වලින් පරණ බයිසිකලයක් ගත්තා. මෙයාට ඒක හෙමින් පැදගෙන යන්න පුළුවන්. ඉදල් ටික බයිසිකලේ බැඳල දුන්නම පැය දෙක තුනකින් සේරම විකුණගෙන එයා ගෙදර එනවා. මේ විදිහට ඉදල් විකුණලා ගත්ත සල්ලි වලින් කාමර දෙකක් හදල ඇස්‌බැස්‌ටෝස් වහගන්න අපිට පුළුවන් වුණා. දුව ලැබුණේ 1999 අවුරුද්දේ. එතකොට අපි ගෙදර පුංචියට හදල තිබුණෙ. එදා ඉඳන් දරුවො වෙනුවෙන් උපයන දේ වියදම් කළා මිස ගෙදරට අලුතින් කාමරයක් එකතු කර ගන්න බැරිවුණා. අපේ පවුලට ලොකු පුතා එකතු වුණේ 2002 අවුරුද්දේ. චූටි පුතා 2006 අවුරුද්දෙ. දුව ශිෂ්‍යත්ව විභාගෙ ලකුණු 155 ක් අරගෙන සමත් වුණා. එයා දැන් සිරිපුර ඉසුරු පාසලේ 9 වැනි ශ්‍රේණියෙ ඉගෙන ගන්නවා. එයාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන පත්තරේ දැම්මට පස්‌සේ නුවර මහත්තයෙක් ඇවිත් අපේ ගෙදරට ලයිට් අරං දුන්නා.
මගේ ලොකු පුතා පුංචි කාලෙ ඉඳන් තාත්තගෙ වැඩවලට උදව් වුණා. ඉස්‌කෝලෙ ඇරිල එයා ඇවිත් තාත්තා එක්‌ක බයිසිකල් රෝද ගෙනැත් තිබුණොත් පැච් දානවා. ඉදල් හදන වෙලාවක් වුණොත් ඒවට උදව් කරනවා. මෝටර් බයික්‌වලට පැච් දාන්න එන අය පුතා පැච් එක දාන කොට එයාට උදව්කරල වැඩිපුර මුදල් දෙන වෙලාවල් තියෙනවා."
"මම මහත්තයෝ කොච්චර දුප්පත් වුණත් ගමේ එක කඩේකට රුපියලක් ණය වෙලා නැහැ. සිසිරගේ හඬ බිරිඳට විරාමයක් දෙමින් මතුවිය. "මම ණයට හරි බයයි. අපේ ලයිට් බිල, වතුර බිල වෙලාවට ගෙවනවා. ඉස්‌කෝලෙ වැඩ අතපහු කරන්නෙ නෑ. දරුවො වෙනුවෙන් ඒවත් වෙලාවට කරනවා. ගොයම් වැඩ, මඩ වැඩ කාලෙට මගෙ නෝනා ගොඩාක් මහන්සිවෙලා කීයක් හරි හොයා ගන්නවා. අනික් දවස්‌වලටත් එක දවසක්‌වත් අපි කාලය අපතේ යවන්නේ නෑ. ඉදලක් හරි හදනවා. මගේ වැඩවලට හරි හරියට උදව් කරපු මගෙ රත්තරං ලොකු පුතා මේ පාර ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 172 ක් අරගෙන පාස් වුණා. මගෙ දරුවා කවදාවත් ටියුෂන් ගියේ නෑ. මැදගම්පිටිය ප්‍රාථමික විදුහලේ විදුහල්පති සිසිර ගුණවර්ධන සර්, පන්තිභාර දීපිකා වනසිංහ මිස් අපේ දරුවන්ට නොමිලේම අමතර පන්ති කළා. ඒ හැමෝටම පිං සිද්ධවෙන්න මගෙ දරුවා දැන් හොඳට ඉගෙන ගන්නවා." සිසිරගේ සතුටු කඳුළු දෙකම්මුල් දිගේ ඔහේ ගලා යයි. මෙතෙක් වෙලා අක්‌කගෙන් පාඩම් අහගත්තු මල්ලිලා දෙන්නාගෙන් ලොක්‌කා තාත්තාගේ වැඩවලට උදව් වනු පෙනෙයි. පුංචි මල්ලියා හඬනගා පාඩමක් කියනු ඇසෙයි. මේ වැඩ අතරම ආර්. ජී. සජිත් ලක්‍ෂාන් සමගත් වචනයක් කථා කරන්න අමතක කළේ නැහැ.
"අපේ අම්මයි තාත්තයි අපිට හරිම ආදරෙයි. කවදාවත් බැනුම් අහන්න දඟවැඩ අපි කරල නෑ. අපිට කුඹුරක් නැති වුණාට තාත්තා අපිව එකවේලක් බඩගින්නේ තියල නැහැ. ඉස්‌කෝලේ වැඩවලට අපිට විදුහල්පතිතුමාත් ගුරුතුමියන්ලාත් උපකාර කරනවා."
රෝදයක හුලං බැසීමෙන් මහමග අතරමං වූ පාපැදිකරුවකුගේ පැමිණීම සජිත්ගේ කථාවට බාධාවක් විය. සමුගන්නා මොහොතකට කලින් උදව්වක් කරන්න කැමති කෙනෙක් වෙතොත් බැංකු ගිණුම් අංකය ඉල්ලා ගන්නත් අමතක කළේ නැහැ. මහජන බැංකුව දෙහිඅත්තකණ්‌ඩිය 330200150013423, ලංකා බැංකුව දෙහිඅත්තකණ්‌ඩිය 68672486256 අංක වලින් සතුට, සාමය, සපිරි මේ පුංචි කැදැල්ලට ආලෝකයක් විය හැකි කෙනෙකුට ඒ සඳහා උපකාර වෙන්න පුළුවන්.
ප්‍රසන්න සිල්වා
දිවයින පුවත්පත ඇසුරින්
0 comments:
Post a Comment