හඳ පළුව කළු වලාවකින් වැසී සිට ආයේමත් දුහුල් වලා රොදකට පාවී ආවේ එළිය ගහකොළ පුරා අතුරා දමමිනි. ඉඳහිට අහස් ගැබෙන් තරු කැටයක් වෙල් ඉහත්තාවට කඩා වැටුණේ පාළුවට අතවනමින්ය. නිහඬ වෙල්යාය පුරා ලැඟුම්ගත් නිශාචර පක්ෂීහු ද මේ යාමයේ සිටියේ තුරුගොමු වදුලක නිදි සුවය විඳ ගනිමිනි. සේපාලිකා මල් නටු අගින් ගිලිහී බිම පතිතව තිබුණේ කඳුළු පිනිකැට පෙතිමත විසුරුවන අතෙර්ය.
මුළු ලොවම එකට වැටි නිදිගත් මෙවන් පාලු නිද්‍රාවක සිත් සතන් ද සුවබරය. එහෙත් මේ රාත්‍රිය උරුමව තිබුණේ සිත්පිත් නැති යක්ෂයාගේ හෝරාවටය. කිරි සුවඳ ළපටි ගොදුරක රසය සොයමින් ඒ සිත්පිත් නැති යක්ෂයා රාත්‍රියට අවතීර්ණ වෙමින් සිටියේය. රැහැයිනාදය වේදනාබර වැලපීමක් වී තුරුගොමු අතරේම ගොළු වූවේය.
හදවත් නැති මිනිසුන්ගේ නිහීන පාපතර දෙඅත් මතින් පුංචි කොඳමලක් තැලී පෙළී පණනල සඟවා ගත්තේ මේ ලෝකයේ උපන් පවටය. සඳක සිහිලස කිරණ හෙළා මල් කැකුළු සිඳබිඳ දවා දැමුවා නම් හිරුගෙන් සිහිල සෙනෙහස පැතීම කවර නම් මුලාවක් විය හැකි ද?
මේ අහස් වියන යට මේ ඉරහඳ යට මුළු මහත් සංවේදී මිනිසුන්ගේ දෙනෙත් කඳුළින් පිරී ගියේය. වෙල්යාය මැද පෙඳ පාසිවලින් ගහන වූ දියවළක් තුළ රෝස කුසුමක් පාවෙමින් තිබිණි. එහෙත් පණනල සිඳී ගිය ඇගේ අඩවන් නෙතු වියැකී මොළ කැටි දෙඅත් මිට මෙළවි වේදනාබර සමුගැනීමක සටහන් ඒ කිරිකැටි දෙතොල මත ඇඳී තිබිණි. තනිවම පා පොඩි ඔසවාගන්නට පවා බැරි කිරි සුවඳැති බිළිඳියක් දිය වළක ගිලී හුස්ම පොද පා කර දමා තිබිණි. එවන් සංවේදනාවක් හදවත් ඇති මිනිසුන් තුළ ඇති කළේ ඉවසිය නොහැකි ශෝඛයකි.
පුංචි දැරිය මරා දැම්මා ද නොඑසේනම් කවුරුන් හෝ දැරිය වතුර වළට විසිකර දැම්මාද? කවුරුත් විමසන්නට වූයේ ඒ ගැනය.
“අනේ අහිංසක කෙලි පැටික්කි...” කාගේත් නෙතඟට කඳුළක් උපන්නේ සැබෑවටමය.
උදේ පාන්දරින්ම තුරුණු මව් පිය යුවළක් අහංගම පොලිසියට දිව ආවේ ඉහ අත්බදා මොර දෙමින් ය. ඒ තමන්ගේ උණුසුමේ සිටි බිළිඳු දියණිය අතුරුදන්ව ඇති බවක් කියමිනි.
සැබෑ දරු දුකට මුළු ලෝකයම යටය. එය මිනිස් වර්ගයාට පමණක් නොව තිරිසන් සතුන්ට ද පොදු වූ දහමකි. වනාන්තරයේ ඇතින්නකට පැටවකු උපන් කල රැහේම ඇත් අම්මලාට කිරි එරෙනවා යයි කියන්නේ එනිසාය. උණහපුලුවාට උගේ පැටවා මැණිකක් ද වන්නේය. දෙතනේ කිරි බිබී හුන් සුරතල් සිඟිත්තිය අහිමි වූ කල මවකට ඉවසිය හැකිද?
මේ වේදනාබර දුක්ගැනවිල්ල ඇසෙද්දී පොලිස් පරීක්ෂක රණවක සිටියේ පොලිසියේ පැමිණිලි පොත්පත් පිරික්සමින්ය. එහෙත් ඔහුගේ අවධානය බිඳී ගියේ පුංච් එකකුගේ අතුරුදන්වීමේ දුක හිතෙන කතාවක් කන වැකුණු නිසාය. සිය කාර්ය නතර කළ හෙතෙම ඒ දෙසට නොපමාවම සවන් යොමු කළේය.
“අනේ සර්....මාත් පවුලත් නිදාගත්තේ චූටි දුවව මැදින් නිදි කරවල...උදේ බලනකොට ඇඳේ චූටි දුව හිටියේ නැහැ...” ඒ සිඟිත්තියගේ පියා ය.
සියලු රාජකාරි කටයුතු නතර කළ පොලිස් පරීක්ෂක රණවක පැමිණිලිකරුවන් ද නංවාගෙන වෙල් යායක් අසල පිහිටි එම නිවෙස වෙත ආවේ පරීක්ෂණ කටයුතු මෙහෙයවීමටය. අස්සක් මුල්ලක් නෑර විමසුමේ ඇස යොමු කරද්දී ඔහුගේ උකුසු ඇස යොමුවූයේ කිසියම් දෙයක් අසලය. ඒ කිසිවකු විසින් ලියන ලද ලියුම් කඩදාසියක් කෙරෙහිය. එය අතට ගෙන සැකයෙන් බැලූ පොලිස් පරීක්ෂකවරයා එය විමසිලිමත්ව කියවා බැලුවේය.
“උඹලව මම නැති කරනවා උඹලගේ දරුවා හිනාවෙනවා බලන්න මම ආස නැහැ. උඹලව ඉතුරු කරන්නේ නැහැ...”
ලිපියෙහි වූ දෙය නැවතත් ප්‍රවේසමෙන් කියවා බැලූ කල වැටහී ගියේ මෙහි කිසියම් සැඟවුණු දෙයක් ගැබ්ව ඇති බවය. අපැහැදැලි අකුරින් ලියා තිබූ ලිපියෙහි සැඟවුණු දෙය ගැන සැක සංකා පහළ කළ පොලිස් පරීක්ෂකවරයා සිඟිත්තියගේ මව වෙත හැරුණේ විමර්ශනවලට උපකාර වන කිසිවක් සොයා ගැනීමේ අදහසින් යුතුවය. පළපුරුදු පොලිස් නිලධාරියාට ඇගේ හැසිරීම පිළිබඳ යම් සැකයක් මෙන්ම ගැටලුවක් ද ඒ වන විට ඇතිවී හමාරය.
“ඇයි දෙයියනේ තමන්ගේ දරුවා නැතිවුණ අම්මා කෙනකුට ඔහොම නිසොල්මනේ ඉන්න පුළුවන් ද?... ඔහොම වෙලාවක අම්මා කෙනෙක් පොළොවේ පස් කකා අඬනවා නේද...? මේ ගෑනිට ඒ තරම් දුකක් නැහැ වාගේ...”
සැකමුසු බැල්මෙන් පරීක්ෂණ කටයුතු එක දිගටම කෙරීගෙන යද්දී මවත් පියාත් වෙන් වෙන්ව රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කණ්ඩායම යුහුසුළු වූයේ කම්පා වූ හදවතින් යුතුවය.
නිලධාරීහු මුලින්ම කළේ කඩදාසි කැබැල්ලක් සහ පෑනක් ගෙන මිය ගිය දැරියගේ මවගේ අතට දී එහි යමක් සටහන් කරන ලෙස පැවරීමය. ඒ සඳහා කාන්තා නිලධාරිණියන් දෙදෙනකුගේ සහාය ලැබිණි. එලෙසම දැරියගේ පියාගේ අත් අකුරින් පැමිණිල්ල සටහන් කරන ලෙසද උපදෙස් ලැබිණි. මොහොතකින් පොලිස් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණු සටහන් දෙකම දැඩිලෙස
නිරීක්ෂණයට ලක් කළේය. බොහෝ වේලාවක් වැයකොට නිලධාරීහු යම් නිගමනයකට එළැඹුණහ.
“ගෑනිගෙ අත්අකුරු වගෙයි පේන්නෙ... ගෑනිගෙ සම්බන්ධයක් මේකට ඇති... පැත්තකට අරගෙන ඔයාලා ප්‍රශ්න කරන්න...” එයට උප පොලිස් පරීක්ෂක අමරසිංහ හා කාන්තා නිලධාරිණියන් වූ සැරයන් කාංචනාත් සැරයන් සමරජීවනීත් සැණෙකින් සූදානම් වූහ.
“දැන් ඉතින් බොරු නොකියා ඇත්ත කියනවා. ඇවිදින්න බැරි දරුවකුට වතුර වළ ළඟට යන්න බැරි බව දන්නවනේ. මේ ලිපියෙ තියෙන අත් අකුරු තමාගෙ බවට හොයාගෙන ඉවරයි. දරුවට මොකක්ද කළේ... දරුවව කවුද වතුර වළට දැම්මේ... බොරු කිව්වොත් බලාගෙනයි...”
නිලධාරීන්ගේ ගෝරණාඩුව හමුවේ ඇය බොහෝ සෙයින් බියට පත්වූවාය. දහදියෙන් පෙඟී ගිය මුළු සිරුරම බියෙන් සට සටගා වෙවුලද්දී නෙතඟින් කඳුළු කැට කඩා වැටුණේ දුකට ද නැත්නම් බියටද යන්න කාටත් වටහා ගත නොහැකි විය. ඉකිබිඳිමින් ඇය නිලධාරිණියන් දෙදෙනා දෙසට හැරුණේ සඟවාගෙන තිබූ සංසාරගත පව්කාර කතාවක සැබෑ තොරතුරු සෙසු ලෝකයට හෙළිදරව් වද්දීය. එහෙත් ඒ කාලකන්නි කතාව සත්‍ය ලෙසම ඔබ විශ්වාස කළ යුතුව ඇත. ඉකිබිඳිමින්ම ඇගේ මුවින් හෙළිදරව් වන්නේ මෙලොව දරුවකු බිහිකළ මවකගේ මුවෙන් කිසිදා නොඇසිය යුතු නොකිය යුතු කුරිරුතර පාපකර්මයක කෙළවර කතාවකි. දරුවන් ඇති මව්පියවරුන්ට දෙසවන් අදහාගන්නට බැරිව ළතැවුණේය.
“අනේ නෝනා ...මං ඇත්ත කියන්නම්...මම තමයි දරුවව වතුර වළට දැම්මේ...දරුවා තද නින්දේ හිටියේ...මම රාත්‍රියෙම ගිහිල්ලා දරුවව වතුර වළෙන් තිබ්බා. කෙල්ල එක පාරටම සීතල දැනිලා ඇස් දෙක ඇරියා. මගේ මූණ දිහා බලාගෙන හිනාවුණා. මට මහ ලෝබකමක් දැනුණා. ආයේමත් වතුර වළෙන් අරගෙන තුරළු කරගත්තා...”
එහෙත් ඒ හැඟීමට ඇගේ වැදූ කුස උණු වූයේ නැත. එම හැඟීම යළි වියලී ගොස් නරුම කුරිරු සිතිවිල්ල මුදුන්පත් විය. ආයේමත් ඇය ඉවත බලාගෙනම දියණිය වතුර වළ මත අතහැර දමා ගෙදරට දිව්වේ සිව්පා සතකුටවත් අත්කර නොදිය යුතු උරුම කරුමයක් තම ලේ කිරිකර පෙවූ දස මසක් කුස දැරූ දියණියට උරුම කරදෙමින් ය. ඉන්පසු සිදුවන්නේ මහා වේදනාබර ඛේදවාචකයකි. අනන්ත වූ කළුවර රාත්‍රිය යට මළානික සඳ එළිය යට පුංචි සිඟිත්තිය අනේක වද වේදනා විඳිමින්ම අවසන් සුසුම හුදෙකලාවම පා කර හැරියා ය. තම ලේ කිරිපොවා ඩිංග ඩිංග ඇතිදැඩි කළ සිඟිත්තිය අවසන් පණ නල ජල තලයකට මුසු කරද්දී ඇය ගෙට වැදී නිදි පැදුරේ වැතිර ගෙන දෑස් පියා ගත්තාය.
මුළු මහත් ශිෂ්ට සමාජයේම පිළිකුළ වෛරය හා අප්‍රසාදය මව් සෙනෙහසකට අවමන් කළ ඇයම වෙත එල්ල වෙද්දී කිසිදා නොඇසිය යුතු සාහසික ඝාතනයක් සමාජයට නිරාවරණය වන්නේ දරුවකුට දිවමතුරක්වන් එවන් සදාතනික සෙනෙහසක් මඩගොහොරුවකට දමමින් ය. සියල්ල සිදුවී හමාර ය. ඇය තමන්ගේම ලෙයින් ජාතක කළ සිඟිත්තිය දෙවරක් නොසිතාම මරු තුරුළට යැව්වේ ඇයි..?. කාටත් ආදරය හිතෙන පුංචි දැරියක් ඇයට එපා වූයේ ඇයි... ? පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතරම සිඟිත්තියගේ මරණය සම්බන්ධයෙන් මව අධිකරණයට ඉදිරිපත් කරන්නට පියවර ගැනිණි. එදා කාටත් අසන්නට ලැබෙන්නේ ඇය පොලිස් නිලධාරීන් ඉදිරියේ නොකියූ අමුතුම කතාවකි. ඇය විනිසුරුතුමිය ඉදිරියේ ඇගේ ජීවිතය වෙළාගෙන තිබූ යම් සංවේදී කතාවක් හෙළි කළාය. වරෙක හඬමින් සුසුම් හෙළමින්ම ඇය කළේ දීර්ඝ පාපොච්චාරණයකි.
ඇය ඉපැදුණේ මොරටුවේය. අට වසර දක්වා කඩලාන පාසලට ගිය ඇය පාසල් ගමන නතරකොට ගාමන්ට් එකක රැකියාවට ගියාය. එක දවසක් ඉදිබැද්ද බස් නැවතුම් පොළේදී ඇයට තම අනාගත සහකරු හමුවිය. දිගින් දිගටම හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙම්වතුන් වූ ඔවුනට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබී තිබිණි. එක වහලක් යටට වූ මේ පෙම් යුවළ සෙනෙහසින් ගතකරමින් ජීවිතය ඉදිරියට ගෙන ගියේ සතුටින් ය. ඉන්පසු පුංචි සිඟිත්තියකගේ මවු පියන් වූ පසු යුවළ පදිංචියට ගියේ සැමියාගේ ගෙදරටය. අංහගම අරඹේවත්තට ගිය ඔවුහු අලුත් ජීවිතයේ සුව සෙවූහ.
“තාරුකා නිශාදි” දියණිය සමඟ ගෙවූ ජීවිතයේදී දෙදෙනාම මුහුණ දෙන්නේ වේදනාබර අත්දැකීමකට ය. නිශාදි ටිකෙන් ටික සුහුඹුල්ව වැඩුණ ද කවදාවත්ම හිස ඔසවා බැලුවේ නැත. තබා තිබූ තැනම එලෙසම සිටියා මිසක කිසිදු ක්‍රියාකාරකමක් පෙන්වූයේ ද නැත. රෝගී ලක්ෂණ පෑ දියණිය නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යන්නට දෙදෙනාම යුහුසුළු වුවද එය නිෂ්ඵල කටයුත්තක්ම විය. වෛද්‍යවරුන් කීවේද දියණිය සනීප කළ නොහැකි බව ය. අසල් වැසියන් ද නිතරම ඇගෙන් විමසුවේ දරුවා ගැන ය. ආබාධිත දැරිය ගැන පිටස්තරයන් විමසන හැම මොහොතකම ඇය මනසින් ඇද වැටුණා ය.
සැමියාද සිටියේ රෝගී දියණිය පිළිබඳ කණස්සල්ලෙනි. වෙනදා මෙන්ම තවත් එක්තරා රැයකදී ඔවුන් දෙපළ දරුවා ගැන සිතමින් ඉකිබිඳිමින් හඬා වැටුණෝ ය. සියල්ල සැළසුම් වන්නේ එවන් වේදනාවක් අතරතුරේම ය.
“මමයි මහත්තයයි නිදාගෙන හිටිය තැනමයි දුව නිදාගෙන හිටියේ...පස්සේ අපි තීරණයක් ගත්තා. අපේ තරහාකාරයෙක් ලියන විදියට ලියුමක් ලියන්න...කියලා මහත්තයා මට කිව්වා...රතු පෑනකුත් කොළයකුත් මට දුන්නා. මං ලියුමක් ලිව්වා...පස්සේ දරුවාගේ පංචායුධයයි හොරෙක් ගළවපු විදියට ගළවා ගන්න කිව්වා. දරුවට හොඳටම නින්ද ගිහින් තිබුණේ...පස්සේ මං දරුවව අත්දෙකට අරන් වතුරවළ ළඟට ගියා. ඊට පස්සේ...මම ගෙදර ආවා...මට ඇස් දෙක පියෙව්වට නින්ද ගියේ නෑ සර්...දරුවා මතක් වුණාම මම වෙව්ලන්න ගත්තා...අපි දෙන්නම එකතු වෙලා තමයි මෙහෙම කළේ...ඒ වෙලාවේ මහත්තයා කිව්වා ඔයා වරද බාර ගන්න කොච්චර වියදම් කරලා හරි මම ඔයාව බේර ගන්නවා කියලා...”
ඇගේ ප්‍රකාශය විමසූ මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ දැරියගේ පියාවද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ය.
තමන්ගේ සුරතල් සිඟිති දියණිය ඝාතනය කළ වරදට අඹු සැමි යුවළ රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ දෛවයේ සරදමක් ලෙසට ය.
ලෝකයම දණ නමන්නේ අම්මාවරුන්ගේ මවු සෙනෙහසේ අරුමයට ය. තමන්ගේම ලෙයින් උපන් අබාධිත දරුවකු වුවුද මව්පියනට මහ මෙරකි. හදවතේ ගිනි උහුලාගෙන දරු දුක වෙනුවෙන් දිරිය පාරමිතා පුරන්නේ ඔවුන් ය. එවන්, ගෙදර බුදුන් වූ මවුපියන් වසන ලොව මෙවන් මවුපියවරුන් යැයි කියූ අධම සිතිවිලිවලින් දූෂිත වූ මිනිසුන් ගැහැනුන් දරුවන් විනාශ කරනු ලැබුවේ ඇයි? එවන් කළ ඔවුනට උරුම කළ යුතු දඬුවම කවරේද? අප හමුවේ ඇති පැනය එයයි.
2003 වසරේ ගාල්ල අහංගම ප්‍රදේශයෙන් වාර්තා වූ මේ හද සසල කළ අපරාධය කාලයේ වැලි තලාවෙන් වැසී අතීතයට එක් වූ තවත් එක් සංවේදී සටහනක් පමණි.
ගාල්ල සහකාර පොලිස් අධිකාරී ආනන්ද විජේසූරිය මහතාගේ අධීක්ෂණය මත අහංගම පොලිස් ස්ථානාධිපති ඩී. රණවක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජී.ඩබ්ලිව්. එස්. අමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පැවැත්වූහ.
සත්‍ය නිවිස්
www.sathyanews.com