-

-
  • home
Home » » විදුලිබිල වැඩි කරන්න අවසරයි! ගාස්තු වැඩි වන්නේ මෙහෙමයි

විදුලිබිල වැඩි කරන්න අවසරයි! ගාස්තු වැඩි වන්නේ මෙහෙමයි


මේ මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන ‍උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. 

නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (17) විදුලිබල අමාත්‍යංශයට ලබාදී තිබේ. 

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යංශය විසින් ඉල්ලිමක් කිරීමෙන් පසු ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට කොමිසම තීරණය කළේය. 

ඒ අනුව පසුගිය කාලයේ දී ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත හා වාචික අදහස් ලබා ගන්නා ලදී. 

එම අදහස් ද පදනම් කර ගනිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් නව ගාස්තු සංශෝධනය පිළිබඳ නිර්ණායක සකස් කර ඇත. 

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වු විවිධ ඒකක කාණ්ඩ සඳහා වෙන් වෙන් ඒකක මිල ගණන් ක්‍රමය වෙනුවට සමස්ත පරිභෝජන ඒකක ප්‍රමාණය අයත් වන කාණ්ඩයේ ඒකක මිලට අනුව බිල්පත සකස් කිරීම මෙවර මිල සංශෝධනයේ විශේෂත්වයකි. 

ගෘහස්ථ, ආගමික සහ පොදු කාර්යය යන පාරිභෝගික කාණ්ඩ තුන යටතේ මෙම මිල සංශෝධනය සිදුකර තිබේ. 

ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 5.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30.00කි. 


ඒකක 31 – 60 දක්වා ඒකකයක මිල රුපියල් 6.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60.00කි. 

ඒකක 61 – 90 දක්වා ඒකකයක මිල රුපියල් 8.50 කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 90.00කි. 

ඒකක 91 – 120 දක්වා ඒකකයක මිල රුපියල් 15.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 

ඒකක 121 – 180 දක්වා ඒකකයක මිල රුපියල් 20.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 

ඒකක 181 – 210 දක්වා ඒකකයක මිල රුපියල් 24.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 

ඒකක 211 – 300 දක්වා ඒකකයක මිල රුපියල් 26.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 

ඒකක 301 – 900 දක්වා ඒකකයක මිල රුපියල් 15.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 

ඒකක 900ට වඩා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්‍ සඳහා ඒකකයක මිල රුපියල් 34.00කින් නංවා ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 

කෙසේ වෙතත් ගෘහස්ථ පරිභෝගිකයින්ට සාපේක්ෂව ආගමික ස්ථාන සඳහා නව ගාස්තු ක්‍රමය යටතේ ඒකකයක මිල පහත පරිදි සංශෝධනය කර ඇත. 

ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 1.90කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30.00කි. 

ඒකක 31 – 60 දක්වා ඒකකයක මිල රුපියල් 2.50කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60.00කි. 

ඒකක 61 – 90 දක්වා ඒකකයක මිල රුපියල් 3.50කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180.00කි. 

ඒකක 91 – 120 දක්වා ඒකකයක මිල රුපියල් 5.00කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180.00කි. 

ඒකක 180 වඩා පරිභෝජනය සිදුවන ආගමික මධ්‍යස්ථාන සඳහා ඒකකයක මිල රුපියල් 7.00ක් ලෙස සංශෝධනය කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 240.00කි. 

මෙම නව මිල සංශෝධනවලට අනුව ඒකක 30ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලිබිල වැඩි වන සාමාන්‍ය ප්‍රතිශතය වන්නේ 49%කි. 

ඒ අනුව 30-90ත් අතර ඒකක පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක් 64% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. 

ඒකක 90-200ත් අතර ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලිබිලක් සියයට 66% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. 

ඒකක 300- 900ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 11.8%ක් වීම විශේෂත්වයකි. 

ඒකක 900 වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 6%කි. 

රජයේ අය වැය මගින් මූල්‍ය පහසුකම් සැපයෙන ජනතාවට නොමිලේ සේවා සපයන රජයට අයත් පාසල්, රෝහල්, වෘත්තීය පුහුණු ආයතන සහ විශ්ව විද්‍යාල සඳහා ඒකකයක මිල රුපියල් 14.65කි. 

ඊට අමතරව හෝටල් සහ කර්මාන්ත සඳහා කාර්ය බහුල, කාර්ය බහුල නොවන සහ දිවා වශයෙන් කාල නිර්ණයන්ට අනුව විදුලිබිල ගණනය කිරීමට නියමිතය. 

මේ අතර මෙම විදුලිබිල සංශෝධනයට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසීය. 

2 comments: