-

-
  • home
Home » » ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් ශ‍්‍රී ලංකාව ගැන තවත් වාර්තාවක්.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් ශ‍්‍රී ලංකාව ගැන තවත් වාර්තාවක්.



ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ නව වාර්තාවක් ඉදිරි සතියේ නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තාවනවා. ‘‘ඇසෝල්ට් ඔන් ඩිසෙන්ට්’’ නොහොත් විරුද්ධවාදීන්ට ප‍්‍රහාරයක් යන මැයින් සකස් කර ඇති මෙම වාර්තාවෙන් රජයේ ක‍්‍රියාකාරකම් දැඩිසේ විවේචනයට ලක් කර ඇති බව සඳහන්. මෙරට ආණ්ඩුවේ විරුද්ධවාදීන් තර්ජන, පීඩාවන්, සිර දඬුවම් සහ ප‍්‍රචන්ඩ ප‍්‍රහාරවලට ලක්වන බවටද අදාල වාර්තාවෙන් චෝදනා කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කළා. විශේෂයෙන් මාධ්‍යවේදීන්, අධිකරණ ක්‍ෂේත‍්‍රය සහ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් මෙන්ම විරුද්ධ දේශපාලනඥයන් ඉලක්ක කරගෙන එදිරිවාදිකම් ක‍්‍රියාත්මක වන බවටයි ක්ෂමා ආයතන වාර්තාව චෝදනා කරන්නේ.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ රැස්වීමක් ලන්ඩනයේදී අද පැවැත්වෙන අතර එහිදී ශ‍්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන නොවැම්බරයේ ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර එය වෙනත් ස්ථානයක පවත්වන ලෙසට ඇතැම් කණ්ඩායම්වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව නොරහසක්. විශේෂයෙන් කැනඩාව මෙහිදී පෙරමුණ ගෙන ඇති අතර හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂද ඒ සඳහා ලන්ඩන් රැස්වීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් දැනට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සභාපති ධුරය දරන බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට මීළඟ සභාපති ධුරය ලබාදීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බව අවධාරණය කරනවා. ලන්ඩනයේ අද පැවැත්වෙන අමාත්‍ය ක‍්‍රියාකාරී කමිටුවේදීද බංග්ලාදේශය ශ‍්‍රී ලංකාව වෙත සහය පළ කරනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක‍්‍රියාකාරී කමිටු රැස්වීමේදී ශ‍්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කෙරෙන්නේ වෙනත් කරුණු යටතේයි.

0 comments:

Post a Comment