-

-
  • home
Home » » විදුලි බිල සහ ජිනීවා උගුල

විදුලි බිල සහ ජිනීවා උගුල



රට පාලනය කරන භාණ්ඩාගාර නිළධාරින් මේ වන විට විදුලිබල මණ්ඩලයේ ‘‘මූල්‍ය අර්බුදයට’’ තම විසදුම ඉදිරිපත් කොට ඇත. ඒ අනුව කිසිදු දුප්පත් පොහොසත් බේදයකින් තොරව රටේ සියලූම විදුලි පාරිභෝගිකයින්ට විදුලිබල මණ්ඩලයේ ඊ නියා පාඩුව සඳහා සෘජුව වන්දි ගෙවීමට සිදුවනු ඇත. රටේ පරමාධිපත්‍යයේ බලය දරණ ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලනඥයින් තමාට ඒ පිළිබඳව කළහැකි දෙයක් නැති බව පෙන්වමින් ඇත. නමුත් සිහිබුද්ධිය ඇති කිසිදු ආණ්ඩුවේ දේශපාලකඥයකු එය අනුමත නොකරන බව සහතික කළ හැක. එහෙතක් විපක්‍ෂයේ අය නම් බලාසිටින්නේ භාන්ඩාගාර නිලධාරින් වැඬේ හරියට කරනකම් බවට සැකයක් නැත.

අප රටේ මතුපිටට පෙනෙන මුල්‍ය අර්බුද පිටපස තිබෙන ආර්ථික උපාය මාර්ගික ගැටළු පිළිබඳ අවබෝධයකින් තොරව ඉල්කකම් හරඹවලින් ඒවාට විසදුම් ඉදිරිපත් කරන නිළධාරින් පෙන්වන්නේ තමන්ට වෙනත් කළ හැකි දෙයක් නොමැති බවය. අප රට නිදහසින් පසුව පැමිණි ගමනතුල දක්නට ලැබුණු ප‍්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ගැඹුරු දේශපාලන ආර්ථික ගැටළු වලට තාක්‍ෂණික හෝ ඊ නියා මූල්‍ය පාලන ක‍්‍රමවේද වලින් පිළිතුරු සෙවීමය. ඒ ආකාරයට  එවැනි ගැටළු අර්බුද දක්වා වර්ධනයවීම වලක්වා ගැනීමට හෝ ඒවා පියමන් කිරිමට අප සමත් වී තිබිය හැක. එහෙත් අප රටේ යම් දේශපාලන ච්න්තනයක් මත පදනම් වු උපාය මාර්ගික ප‍්‍රවේශයක් අනුව ගැටළු විසදන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුනේ නැත.

අප රටේ අත්තේ ඒ ඒ යුගවලදි මතුවන ගැටළු අර්බුද දක්වා මෝරායන තෙක් සිට ඒවායේ රෝග ලක්‍ෂණවලට වෙදකම් කිරිමේ දේශපාලන සංස්කෘතියකි. අද විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් ලෙස මතුවන්නේ මුලික වශයෙන්ම උපාය මාර්ගික ඥාණයකින් තොරව ආර්ථිකය පාලනය කිරිමේ අර්බුදය බව අපට පිළිගැනිමට සිදුවේ. දැන් රටක් ලෙස අප පැමිණ ඇති ඓතිහාසික තත්ත්වය අනුව විදුලි අර්බුදය දේශපාලන අර්බුදයකින් තොරව පියමන් කල හැකි යයි විශ්වාස කල නොහැක. එයට ප‍්‍රධාන හේතුව මේ අර්බුදය එකතු වන්නේ තවත් දේශපාලන හා ආර්ථික අර්බුද ගණනාවක් මතු පිටට වීමය. බොහෝවිට එය ඔටුවාගේ කොන්ද බිදෙන අවසාන පිදුරු මිටිය බවට පත්වීමට ඉඩ ඇත. මේ වන විට බිලියන 500 (මිලියන 5000ක් * කට අධික අය වැය හිඟය පියවා ගැනිමට නොහැකිව උඩ බිම බලන භාණ්ඩාගාර නිලධාරින්ට ඔටුවාගේ කොන්ද සම්බන්ධයෙන් කලහැකි දෙයක් නැත. ඇත්තවශයෙන්ම අයවැය ලේඛනයේ ඇතුලත් ආදායම් පිළිබඳ සංඛ්‍යා සහ යථාර්ථය අතර පවතින දැවැන්ත හිදැස තුල මෙම අයවැය හිඟය ප‍්‍රායෝගිකව තව ඉහළයනු ඇත.

ජාතියක් ලෙස අප පියමන් කරන මේ මොහොත ශ‍්‍රී ලංකාවේ රජය කොටුකර ගැනිම සඳහා ජිනීවාහි දැවැන්ත උගුලක් අටවමින් සිටින අවස්ථාවකි. ඒ මහා උගුලේ ප‍්‍රධාන පැතිකඩක් වන්නේ සියලූ බෙදුම්වාදි බලතල සහිතව උතුරේ ඡුන්දය පැවැත්වීමය. එසේම ඒ බෙදුම්වාදි උගුල දෙසට ආණ්ඩුව සහ ජනතාව තල්ලූ කිරිම සඳහා තවත් අතුරු උපාංග ප‍්‍රමාණයක් යොදා ගනිමින් තිබෙන අවස්ථාවකි. ඒ සඳහා බටහිරයන් විසින් මිතුරු සහ සතුරු බලවේග මෙන්ම අභ්‍යන්තර සහ බාහිර බලවේගද ඉතා හොඳින් කළමනාකරණය කරන බව පැහැදිලිව පෙනේ. එහිදී බටහිරයන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ ඔවුන් අටවා ඇති උගුලට ඉහලින් පය ඔසවාගෙන සිටින මහින්ද රාජපක්‍ෂ රජය උගුල මත පය තබනු ඇත්ද, එසේත් නැතහොත් ඉන් පිටතට පය තබනු ඇත්ද යන උභතෝකෝටිකය විසදා ගැනීමය. බටහිරයන්ට එවැනි අවිනිශ්චිතතාවයක සිටීමට සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ පවතින සුවිශේෂි ගති ලක්‍ෂණ නිසාය. යුද්ධයේ අවසාන භාගයේදි බටහිරයන්ට තමා ඇටවු උගුලට මහින්ද රාජපක්‍ෂ රජයේ පය තල්ලූ කිරිමට නොහැකි වන්නේ ඒ ගති ලක්‍ෂණ නිසාමය. එහිදි ඔහු සුවහසක් ජනතාව ඔල්වරසන් දෙමින් සිටින අවස්ථාවක තමා තරඟයෙන් ඉවත්වීමට සුදානම් නොවන චරිතයක් බව  ඕනෑවටත් වඩා හොදින් පෙන්වා ඇත.

නමුත් දැන් පෙනෙන්නට තිබෙන ආකාරය අනුව රටේ ජනතාව ඔල්වරසන් තබා කෙදිරිල්ලක්වත් නැතිව සිටින තත්වයක් තුල බටහිරයන්ට වික්‍ෂිප්තභාවයක් ඇතිවීමට හේතුවක් නැත. එසේ වුවත් යුද්ධයේ අවසාන කාලයේදි මෙන් ජාතික බලවේග ජනතාව නැගිටුවා ගැනීමට සමත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ රජය ජනතාවගේ පැත්ත ගැනීමට බොහෝ ඉඩකඩ තිබෙන බවට බටහිරයන් තුල විශාල සැකයක් ඇත. ඒ නිසා ඔවුන් ඊට අදාලව අධිතක්සේරුවකින් හෝ නොසැලකිලිමත්ව තීන්දු ගන්නේ නැත. ඒ තත්වය තුල ලබන සැප්තැම්බරයේ පැවැත්විමට නියමිත උතුරේ ඡුන්දය නැමැති මහා ජිනිවා උගුලේ අතුරු උගුලට මහින්ද රාජපක්‍ෂ රජය තල්ලූ කිරිම සඳහා කොන්දේසි කිහිපයක් සපුරා ගැනීමට ඔවුනට සිදුවේ.

ඉන් පළමු කොන්දේසිය මහින්ද රාජපක්‍ෂ රජය තුල උගුල පිළිබඳ සුභවාදි හෙවත් අඩුතරමින් අසුභවාදි නොවන මතයක් ඇති කිරිමය. ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයට හිතවාදි බව පෙනෙන බාහිර පාර්ශවයක් විසින් ඇස් නිලංකාර කිරිමක් අවශ්‍ය වේ. දැන් ජපානයේ යෂුෂි ආක්‍ෂි මහතා ඒ සඳහා ඉදිරිපත් වී ඇත. එතුමා ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අමාරුවේ දැමීම සඳහා ක‍්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදි මොළ සෝදන්නකු වූ ජෝන් ඩොයිලිට පමණක් දෙවෙනි වන සුවිශේෂි රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. උතුරේ ඡුන්ද උගුලට පයතබා ඉන්දියාව දෙසට මුහුණත් චිනය දෙසට පසු පසත් හරවා සිටගතහොත් යුද අපරාධ මහා උගුලින් ගැලවීම සඳහා ඇමෙරිකාවෙන් සමාව ලබාගත හැකි බව තහවුරු කිරිම ඔහුගේ භූමිකාවයි.

දෙවන කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්‍ෂ රජය උගුල දෙසට තල්ලූ කිරිම සඳහා බාහිරින් හෙවත් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් රාජ්‍යතන්ත‍්‍රික පීඩන සුළං දහරාවක් ඇති කිරිමය. උද්ඝෝෂණ සහ ආර්ථික සම්බාධක කතා හරහා ඒ සුළි කුනාටුව දැනටමත් ආරම්භ වී ඇති බව ඉතා හොදින් පෙනෙන්නට ඇත. තුන්වෙනි කොන්දේසිය වන්නේන උගුල දෙසට ගමන් කරන බව හෝ එසේ ගමන්කලහොත් අමාරුවේ වැටෙ බවට රටේ ජනතාව විසින් අනතුරු ඇඟවීම අවම කිරිමය. දැනටමතක් ජ.වි.පෙ ඇතුලූ වාමාංශික පක්‍ෂ,රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ ජාතිවාදි බෙදුම්වාදි පක්‍ෂ උතුරේ ඡුන්දය පිළිබඳව මුනිවත රකින්නේ ඊට අනුවය. රජය උගුලට පය තබන තෙක් හුස්ම අල්ලාගෙන හා අත් ඔසවාගෙන සිටින ඔවුන් රජය එසේ පය තැබු සැනින් යුද ජයග‍්‍රහණය පාවා දුන්නා යන චෝදනාව නගමින් ගෝෂා කරනු ඇත.

හතරවන කොන්දේසිය වන්නේ රටතුලින්ම සුලි කුණාටුවක් ඇතිකිරිම මගින් රජය අර්බුදයට ලක්කරන අතර මහජන අවධානය වෙනතකට යොමු කිරිමය. ඒ මගින් උතුරේ ඡුන්දය පැවැත්වීමේ භයානක කම දියාරු කෙරෙන අතර අනෙක් පැත්තෙන් දෙකොනම ගිනිතැබු විට එකක් බේරා ගැනිමේ ස්තාවරයකට ආණ්ඩුව තල්ලූ කිරිම සිදුවේ. එනම් රට අභ්‍යන්තර ප‍්‍රශ්න බේරාගැනිම සඳහා ජාත්‍යන්තරය සමග සාමයට එළඹිමේ ස්ථාවරයකට ආණ්ඩුව තල්ලූ කිරිමට අවස්ථාව උදාවේ. එහිදි ආර්ථික සම්බාධක නැමැතිි දඩු අඩුව පෙන්වා ආණ්ඩුව තව දුරටත් බිය වැද්දිමද සිදු කෙරේ. කෙසේවෙතත් ජාැත්‍යන්තරය සමග සාමයට එළඹිම යනු ඔවුන් අටවන උගුලට පය තැබීම මිස අන් යමක් නොවේ.

ඒ හතරවන කොන්දේසිය අනුව පසුගිය කාලය පුරාම රට අභ්‍යන්තරයේ මහජන නැගිටීමක් ඇවිලවීමට බටහිර බලවේග උත්සාහ කලබව රහසක් නොවේ. මෑතකදි බෞද්ධ- මුස්ලිම් ගැටුමක් ඇවිලවීම සඳහා මහ ජනතාව හොද හැටි පෙට‍්‍රල් හලනතුරු ඔවුහු ගිණිකූර අතැතිව බලාසිටියෝය. එහෙත් තාවකාලිකව එම පෙට‍්‍රල් හැලිමේ ක‍්‍රියාවලිය අඩපන වීම නිසා ගිනිකූර ගැසීමද පමා වී ඇත. ඊට පෙර භාණ්කඩාගාර නිළධාරින් විසින් පුද්ගලික විශ‍්‍රාම වැටුප් පනත හරහා මහජන නැගිටීමක් සඳහා සාර්ථක පෙරහුරුවක් දියත් කළේය. කෙසේවෙතත් එම ‘‘සටන’’ රට පුරා පතුරුවා ගැනීමට දේශපාලන බලවේග වලට හැකියාව ලැබුනේ නැත.

එහෙත් රටපුරා මිලියන 5 කට අධික විදුලි පාරිභෝගිකයින්ට ‘‘කරන්ට්’’ අල්ලන විට රටපුරා පැතිරෙන ගින්නක් අවුලූවා ගැනිම අමාරු කාරියක් නොවේ. ඒ දැනටමත් පොදු ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්වී සිටිනවාට අමතරව රජයට සම්බන්ධ දේශපාලකයින් අතිබහුතරයකගේ දුෂණ, වංචා සහ උද්දච්ච කම් පිළිබඳවද කළකිරි සිටින බැවිනි. එදා පුද්ගලික විශ‍්‍රාම වැටුප් පනනත හැදු නිලධාරින්ම විදුලිබල මණ්ඩාලයේ මුල්‍ය අර්බුදයටද විසදුම් ඉදිරිපත් කරන තත්වයක් තුල ඔවුන් තමාට එදා වැරදුනු තැන්  හදා ගනිමින් බටහිරට අවශ්‍ය දේ ඉටුකරන දෙන බවට සැකයක් නැත. එහිදි කවුරු නියෝග දුන්නත් ඉටුවන්නේ බටහිර උවමානව බව තේරුම් ගැනීමට දීර්ඝ පැහැදිලි කිරිම් අවශ්‍ය නැත. බොහෝ විට මෙම නිළධාරින් මෙවර විදුලිබිල වැඩි කිරිමෙන් පසුව ඡුන්දයක් ආසන්නයේදි නැවත එය අඩුකල හැකි යයි තමාට නියෝග දෙන්නන්ට ලනු ගිල්ලවන බවටද සැකයක් නැත.

ඒ අනුව දැන් දැනුම් තේරුම් ඇති රටේ ජනතාව පාලකයින්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. ඒ විදුලි බිල වැඩිවීම සියලූ ජනතාව මත පටවනවාට වඩා වෙනත් සාධාරණ විකල්ප කිසිවක් නැත්ද යන ප‍්‍රශ්නයයි. භාණ්ඩාගාරයේ ගණන් එකතුකරන්නන්ගේ මොළයට නම් පිරිවැය පියවීම සඳහා මිල වැඩිකල යුතුය යන උත්තරයට වඩා වෙනස් දෙයක් වැටහෙනු ඇතැයි විශ්වාස කල නොහැක. ඒ නිසාම ඒ පිළිබඳව ගැඹුරු මහජන කථිකාවක් දැන් අවශ්‍ය වී ඇත. සැමවිටම ‘‘සැපයුම් පැත්තේ’’ සිට ප‍්‍රශ්නයට පිලිතුරු සොයොන විදුලිබල මණ්ඩලයේ ලොක්කන්ටද භාණ්ඩාගාර නිලධාරින්ගේ සුත‍්‍රයට වඩා වෙනස් සුත‍්‍රයක් තිබෙන බව පෙනෙන්නේ නැත. ඒ නිසා දැන් ජනතාව එක්වී ‘‘ඉල්ලූම පැත්තේ’’ සිට ප‍්‍රශ්නය දෙස බලා උත්තර යෝජනාකල යුතුය. එහිදි විදුලි බල මණ්ඩලායේ දුෂණ, වංචා හෝ අකාර්්‍යමභාවයන් පිළිබඳව පළමුව ඇගිල්ල දිගුවනු ඇත. එහෙත් එම චෝදනා කොතක් සත්‍ය වුවත් සහ ඒවා වලක්වා ගතහොත් මහජනයා මත පැටවෙන බර අඩුවනබව කොතෙක් සත්‍යවුවත් ඒවා නිවැරදි කිරිම මගින් පමණක් ප‍්‍රශ්නය විසදිය නොහැකි බව ඉතා පැහැදිලිය.

ඒ අනුව ප‍්‍රශ්නය විසදිම සඳහා රජය යම් මුලික ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් පිළිගත යුතුය. එනම් විදුලිබල මණ්ඩලයේ පාඩුවෙන් කොටසක් පියවීම සඳහා රජය යම් සහනාධාරයක් ලබාදිය යුතු බවය. ඊළඟ ප‍්‍රවේශය විදුලි  පිරිවැය අඩුකිරිම සඳහා අධි පරිභෝජන කාලසීමාවන්හි පිරිභෝජනය අඩු කිරිම සඳහා මහජනයා දිරි ගැන්වීමයි. උදාහරණයක් ලෙස පරිභෝජනය කරන වේලාව සහ ඒකක පඝ‍්‍රමාණය මත මිල තීරණය කෙරෙන විදුලි මනු හඳුන්වාදිය යුතුය. ඒ සඳහා රජය සහනාධාරයක් ලෙස රාජ්‍ය අයවැයෙන් මුදල් වියදම් කල යුතුය. දැනටම තිබෙන තත්වය අනුව අධිපරිභෝජන කාලයන්හි පරිභෝජනය 5% කින් අඩුකල හැකි නම් සමස්ථ පිරිවැය 25% පමණ අඩුකල හැක. එය සුවිශේෂි තත්වයක් ලෙස විදුලිබල ලොක්කන් විසින් පිළිනොගැනිම තුලද රහසක් ඇත. ඒ එක්තරා කාලයකදි පුද්ගලික විදුලි ජනන සමාගම් සමග ගිවිසුම් වලට එළඹිමේදි ඇතිවු තත්වයක් බවට සැක කල හැක. එම දුෂිත ගනුදෙනු නිසා විදුලි ජනන පිරිවැය ඉතා විශාල වශයෙන් වැඩිවන බව ඉතා පැහැදිලි කාරණයකි.
බලශක්ති පරිභෝජනයට අදාලව රජය විසින් සහනාධාර ලබාදීම ඉතා සුක්‍ෂම ලෙස සහ ප‍්‍රතිඵලදායක ලෙස කලයුතු බවට සැකයක් නැත. රජය වෙනත් බදු ආදායම් යොදාගනිමින් ඉන්ධන සහ විදුලිය සඳහා පොදු සහනාධාර ලබාදුනහොත් හෝ  දැනට අයකරන බදු අඩුකලහොත් වැරදි දෙකක් සිදුවේ. පලමුවැන්න පොදුවේ පරිභෝජනය වැඩිවීම නිසා සිදුවන පාරිසරික විනාශය සහ දිර්ඝ කාලින වශයෙන් වන ආර්ථික විනාශයයි. දෙවැන්න ආර්ථික වශයෙන් ශක්තිමත් සමාජ ස්ථරයටද එම වාසිය ලබාදීම අසාධාරණ වීමයි. සෘජුව පාරිභෝගියාට ලබාදෙන සෘජු ඉලක්කගත සහනාධාර වලට වඩා වක‍්‍ර හෙවත් පොදු සහනාධාරවලින් සැම විටම සමාජ සාධාරණත්වයට අදාලව විශාල වරදක් සිදුවේ. නමුත් විදුලි සැපයුම මීටරයක් මගින් සිදුවෙන බැවින් වක‍්‍ර සහනාධාරය ඉලක්ක සහගත කිරිමේ හැකියාව ලැබේ.

ඒ අනුව ‘‘බලශක්තිය සියලූ පුරවැසියාට පොදුවේ අයිතිවේ’’ යන පිළිගැනිම මත බලශක්ති සාධාරණත්වය හෙවත් වඩාත් පුළුල් අර්ථයෙන් පාරිසරික සාධාරණත්වය සඳහා පරිභෝජනය කරන ප‍්‍රමාණය අනුව බදු පැනවීම මගින් හෝ මිල ඉහල දැමිම මගින් පහළ සමාජ ස්ථරය ආරක්‍ෂා කල හැක. එහිදි ඒ මගින් එකතුවන අරමුදල පහල සමාජ ස්ථරයට රජය මගින් ලබාදෙන සහනාධාරයක් බවට පත්වේ. ඒ අනුව රජය විදුලි බල මණ්ඩලයේ අයවැය හිඟයෙන් කොටසක් පියවා ගැනීම සඳහා එක් සමාජ ස්ථරයකට පමණක් මිල වැඩිකල යුතුය. ඉතිරි කොටස පියවා ගැනීම සඳහා පුද්ගලිකව ඛනිජතෙල් වැඩිවශයෙන් පරිභෝජනය කරන පිරිස සඳහා බලශක්ති බද්දක්ද අයකල යුතුය.
උදාහරණයක් ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයේ ව්‍යාජ අයවැය ඉලක්කම් පෙන්වාදිමෙන් පසුව දැන් විදුලිබල මණ්ඩලය අමතරව උපයාගත යුත්තේ වසරකට රු. බිලියන 35ක් පමනි. එම මුදලින් බිලිය 15ක් සොයා ගැනිම සඳහා මාසයකට ඒකක 90 කට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පිරිස සඳහා පමණක් පරිභෝජනයේ වැඩිවීමට සාපේක්‍ෂ අනුපාතකයින් මිල වැඩිකල හැක. එහිදි දළ වශයෙන් විදුලි පරිභෝගිකයින්ගෙන් 50% වන පහල ස්ථරයට සහනයක් ලැබේ. ඉතිරි බිලියන 20 සොයාගැනීම සඳහා ලියාපදිංචිය වසර 5 කට අඩු සියලූ සුබෝපභෝගි වාහන සඳහා විශේෂයෙන්ම ඉඩම් වාහන ලෙස වැරදියට හදුන්වන වාහනද ඇතුලූව බලශක්ති බද්දක් හෙවත් බලශක්ති සාධාරණත්වය සඳහා වූ අමතර බද්දක් අයකල යුතුය. ඒ පිළිබඳව පොදු මහජනයාට හෝ එම වාහන භාවිතා කරන්නන්ට වැසිවිලි නැගීමට හේතුවක් නැත්තේ එය ලෝකය පුරා පිලිගන්නා මුලධර්මයක් බැවිනි.

එහෙත් රජයේ දේශපාලකයින් එසේ තමා සහ තමාගේ හිතවතුන් මත බද්දක් පටවනු ඇතැයි සිතිම සිහිනයක් විය හැක. මහජනයාට එවැනි හැඟිමත් ඇති වන්නේ මේ වන විට දේශපාලන හිතවතුන් විසින්  රජයට ගෙවීම පැහැර හැර ඇති විවිධ බදු සහ ඒවා ගෙවීම පමාවීම නිසා පනවා ඇති දඩ මුදල් වල එකතුව රු. බිලියන 200 ක් තරම් ඉහල අඟයක් ගැනිම තුලය. එම මුදල කොටස් වශයෙන් හෝ අයකර ගතහොත් වසර 6 ක කාලයක් සඳහා විදුලිබල මණ්ඩලයට සම්පුර්ණ සහනාධාරයක් ලබාදිය හැක. ඒ අනුව දුප්පත් පොහොසත් බේදයක් නොමැතිව තව වසර 6ක් සඳහා දළවශයෙන් අද පවතින මිලටම විදුලිය ලබාදිය හැක. එසේ නම් රජය විකල්ප උත්තර සොයන්නේ නැතිව සියලූ ජනතාව මත බර පටවන්නේ තම හිතවතුන් බේරා ගැනීම සඳහා යයි චෝදනාවක් එල්ල කිරිමේ වරදක් නැත.
එහෙත් අඩුතරමින් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්වන් මේවා පිළිබඳ පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කරන්නේ නැත. ඔවුන් අසන්නේ රෝහල් වාට්ටුවක මුත‍්‍රා ගඳ ගැසිම හෝ පාසලක වැසිකිලියක් හැදිම වැනි සිල්ලර වැඩ වලට අදාල ප‍්‍රශ්න බව මහජනයාද දන්නේ නැත. මෙහිදි විවිධ ක්‍ෂේත‍්‍රවලට බදු පැනවීම සහ සහනාධාර ලබාදීම මගින් ආර්ථිකය ගමන් කරන දිශාව වෙනස් කිරිම මෙන්ම සමාජ සාධාරණත්වය තහවුරු ිකරිම සඳහා නිර්මාණශීලිව යොදාගත යුතු උපායමාර්ගික ප‍්‍රවේශයන් පිළිබඳව පුළුල් සමාජ කථ්කාවක් දිරිගැන්වීම වැදගත් වේ. එවැනි කථිකාවක් තුල විදුලි මිල සහනාධාරය සමාජයේ පහල ස්ථර වලට පමණක් නොව දේශිය අමුද්‍රව්‍යය යොදාගන්නා සහ ආනයන විකල්ප නිෂ්පාදන කර්මාන්ත සඳහාද ලබාදිය යුතු බව සාධාරණිකරනය කෙරෙනු ඇත. ඒ තුලම පොහොර සහනාධාරය වැනි සහනාධාර පිළිබඳවද ගැඹුරු කථිකාවක් සමාජයේ ඇතිවිය යුතුය. එයට හේතුව පොහොර සහානාධාරය සඳහා වැය කරන රු. බිලියන 45 ක පමණක මුදලක් 99% ක්ම නැවත පිටරටට සහ මහා සමාගම්වල වාංචාකරුවන්ගේ සාක්කු වලට යාමය.

ඇත්තවශයෙන්ම පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදල විදුලි බිල වැඩි නොකර සිටීමට අවශ්‍ය සහනාධාරය වන බිලිය 35 ට වඩා වැඩි බව පොදු මහජනයා දන්නේ නැත. ඊට අමතරව එම සහානාධාරය මගින් සිදුවන අධි භාවිතය සහ පරිසර විනාශය පිළිබඳ තක්සේරුවක්ද රජයට හෝ පොදු මහජනයාට නැත. ඇත්තවශයෙන් රටේ වී නිෂ්පාදනය අනුව ගණන් බලන විට රජය හෙවත් පොදු මහජනයාට සෑම වී කි.ග‍්‍රෑ1කටම රු. 10ක් වනසේ මුදලක් වැය කරයි. ඒ අනුව දැනට වී මිල පහත වැටෙන ආකාරය අනුව එම සහනාධාරය නැවැත්වුහොත් ගොවියා වී ගොවිතැනින් ඉවත්වනු ඇත. දීර්ග කාලිනව ආහාර සුරක්‍ෂිතතාවයට අදාල එම අර්බුදය විදුලි අර්බුදය මෙන් සිය ගුණයක් බරපතල වනු ඇත. එම නිසා විදුලි බිලට අදාල සහනාධාර පිළිබඳ පොදු මහජන සංවාදය තුල තවත් අතුරු කාරණා දෙකක්ද සාකච්ඡුාවට ලක්කල යුතුය. පළමුවැන්න වක‍්‍ර පොහොර සහනාධාරය වෙනුවට අස්වැන්න හෝ භූමි ප‍්‍රමාණය සහ තවත් සාධක මත එම සහනාධාරය සෘජුව ගොවියා අතට ලබාදිය යුතු බවය. දෙවැන්ත එම සහනාධාර අරමුදල සොයා ගැනිම සඳහා වී මිල පහත වැටීමට හේතුවන සහ අනෙකුත් ආනයනික ආහාර, විශේෂයෙන්ම තිරිඟු පිටි කිරි පිටි සහ බටර් සඳහා සෙස් බද්දක් පැනවිය යුතු බවය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහලේකම්, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

0 comments:

Post a Comment