-

-
  • home
Home » » මේ පුංචි පුතාගේ ගෙල මිරිකා මරයි - වයස 7 යි, තවම 2 වසරේ

මේ පුංචි පුතාගේ ගෙල මිරිකා මරයි - වයස 7 යි, තවම 2 වසරේ



ගෙල සිරකර ඇත්තේ පාසල් ටයි පටියෙන්

විකෘති කාමාතුරයා අත්අඩංගුවේ

කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර ඇත.

පෙරේදා (23 වැනිදා) දහවල් සිදුවී ඇති මෙම ඝාතනයෙන් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙසේ ඝාතනයට ලක්‌වූ පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයාගේ සිරුර පොලිසිය මගින් පෙරේදා රාත්‍රී සොයාගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පාළුÊනිවසක තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කෑගල්ල පොලිසිය ශිෂ්‍යයා ඝාතනයට ලක්‌ව තිබූ පාළු නිවස ආසන්නයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවෙන් විශ්‍රාම ගොස්‌ සිටින මෙම සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. මොහු සිය බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්වී හුදකලා ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකු බව පොලිසිය පවසයි.

එහෙත් මෙම ඝාතනය තමන් විසින් නොකළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයා උඩකරඬුපොන දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුෂ්පකුමාර ශිෂ්‍යයාගේ පියා තැපැල් සේවකයකු වන අතර මව ඇඟලුම් සේවිකාවකි. මොහුගේ වැඩිමහල් සොහොයුරාද වලගම්බා විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔහු නිවසට වී සිට ඇත.

පුෂ්පකුමාර දරුවා පාසල නිමවීමෙන් පසු කෑගල්ලේ සිට උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත හන්දිය දක්‌වා ත්‍රීරෝද රථයකින් පැමිණීමට පුරුදුව සිටියේය.

එම හන්දියේ සිට බොහෝ විට දරුවා නිවසට යන්නේ සිය පියාද සමගය.

සිද්ධිය වූ දින දහවල් පුෂ්පකුමාර දරුවා ත්‍රිරෝද රථයෙන් නිල්මල්ගොඩවත්ත හන්දිය දක්‌වා පැමිණ ඇත. එදින ඔහුගේ පියා එම ස්‌ථානයේ නොසිටි නිසා දරුවා තනිවම නිවසට යැමට පිටත්ව තිබේ.

මෙම දරුවා පැහැර ගැනීමට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේ දී බව පරීක්‍ෂණවලින් අනාවරණය වේ.

සිය සොහොයුරා සුපුරුදු පරිදි නිවසට නොපැමිණි බව වැඩිමහල් සොහොයුරා දුරකථන මාර්ගයෙන් පියාට දැනුම් දී ඇත්තේ එදිනම පස්‌වරු 2.00 ට පමණය.

පසුව පියා නිවසට පැමිණ අසල්වාසීන්ද සමග දරුවා සෙවීමට පටන් ගෙන ඇත. සවස 6.00 වනතුරු දරුවා සොයා ඇති අතර ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ ලැබී නැත.

පසුව දරුවාගේ පියා මේ පිළිබඳව කෑගල්ල පොලිසියට පැමිණිලිකර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ කෑගල්ල පොලිසිය පොලිස්‌ නිල සුනඛයන්ද යොදාගෙන අතුරුදන්වූ දරුවා සෙවීමට පටන් ගෙන තිබේ.

දරුවාගේ ඉව පාරේ ගිය පොලිස්‌ නිල සුනඛයන් පාළු නිවස අසලට ගොස්‌ ඇත. පසුව පොලිස්‌ නිලධාරීන් එම නිවස විවෘත කර බලද්දී ඝාතනය කර සිටි දරුවාගේ සිරුර සොයා ගෙන තිබේ.

පුෂ්පකුමාර දරුවාගේ පාසල් බෑගයද නිවසේ පසෙක දමා තිබූ අතර ඔහුගේ ඇඳුම් ඉවත් කර තිබිණි. දරුවා පැළඳ සිටි ටයිපටියෙන් ගෙල සිරකර ඉතාම සාහසික අන්දමින් ඔහු ඝාතනය කර ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළි විය.

පොලිසිය සැක පහළ කරන්නේ කිසියම් පුද්ගලයකු දරුවා පැහැරගෙන ගොස්‌ පාළු නිවසේදී දරුවාට අතවරයක්‌ කර මරා දමන්නට ඇති බවයි.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මතය. සැකකරු කෑගල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් පෙරේරා කෑගල්ල කොට්‌ඨාසයේ වැඩබලන පොලිස්‌ අධිකාරි ශ්‍රියන්ත පීරිස්‌ මහත්වරුන්ගේ උපදෙස්‌ මත කෑගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

0 comments:

Post a Comment