-

-
  • home
Home » » මංකොල්ලකාරයෝ නිසා අලුත් ගීත එළියට දාගන්න විදිහක් නැහැ

මංකොල්ලකාරයෝ නිසා අලුත් ගීත එළියට දාගන්න විදිහක් නැහැ

රොෂාන් ප්‍රනාන්දු සමග කතාබහක්


වසර 21ක් සංගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටි රොෂාන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබුවා. “පීපල්ස් අවෝඩ් 2012” සම්මාන උළෙ‍ලේදී “ඔයා නිසා හඬලා” ගීතය වෙනුවෙන් රොෂාන්ට සම්මාන 2ක් හිමි වුණා. රොෂාන්ගෙ නවතම ගීතය “ඔයා නිසා හඬලා 2” “පෙරදා හඬවා ගියා ඔයා” ගීතය මේ දිනවල ඔහු සිය ප්‍රේක්ෂකයින්ට තිළිණ කරලා අවසන්. මේ සියලු කරුණු ගැන වගේම ඔහුගෙ නවතම තොරතුරු කතා කරන්නත් අපි රොෂාන්ට කතා කළා.   

පසුගියදා ඔබ සම්මානයට පාත්‍ර වුණා....?
පසුගිය 9 වැනිදා වෝටස් ඒජ් හි පැවැති පීපල්ස් අවෝඩ් හිදී මට සම්මාන 2ක් හිමිවුණා. ඒ ජනප්‍රිය ගායකයා සම්මානය හා ජනප්‍රිය ගීතයට හිමි සම්මානය. මට මේ සම්මාන හිමිවුණේ “ඔයා නිසා හඬලා” ගීතයට.

ඔබට සම්මාන හිමිකළ “ඔයා නිසා හඬලා” ගැනත් කතා කරමු.

මේ ගීතය රචනා කළේ අයෝධ්‍ය ප්‍රනාන්දු. එය සංගීතවත් කළේ රධිෂ් වැන්දබෝනා. ලහිරු මුදලිගේ ‘හරි  ක්‍රියේෂන්’ තුළින් මේ ගීතයට බොහොම අපූරු රූප රචනාවක් නිර්මාණය කළා. පසුගිය කා‍ලේ වැඩිම ඩවුන්ලෝඩ් වූ විෂුවල් එක විදියටත් මෙය වාර්තාවක් තැබුවා. මේ සියල්ලෙම අවසන් ප්‍රතිඵලය විදියට මට මේ සම්මාන දෙක හිමි වුණා.
දිගුකාලීන කලා ජීවිතයේදී රොෂාන් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව නේද මේ?

ඔව්. මගේ සංගීත ජීවිතයට අවුරුදු 21යි. ඒ අවුරුදු 21දී මට සම්මානයක් හිමි වූ ප්‍රථම අවස්ථාවයි මේ. අපි හැමෝටම ලැබිය යුතු දේවල් නිසි වෙලාවට ලැබෙනවා. කලාකරුවකු එය තේරුම් ගත යුතුයි.

මොනවද රොෂාන්ගේ අලුත් නිර්මාණ?

“ඔයා නිසා හඬලා” දෙවැනි ගීතය නිකුත් කළා. එය රචනයෙන් හා සංගීතයෙන් දායක වුණේ මුල් නිර්මාණයට දායක වූ අයමයි. “පෙරදා හඬවා ගියා ඔයා” කියන ඒ ගීතයත් ළඟදීම රූප රචනාවක් ලෙස ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබේවි.

අලුතින් ගීත ඇල්බමයක් නිකුත් කරන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. ඒත් මේ මංකොල්ලකාරයෝ හින්දා ඒක කරගන්න විදියක් නැහැ. ඒක මට විතරක් නමෛයි සෑම සියලු ගායක ගායිකාවන්ටම ‍පොදු ප්‍රශ්නයක්. මාස ගණනක් දුක් විඳලා වගාවක් කළාට පස්සෙ වෙන කෙනෙක් ඇවිත් ඒකෙ ඵල නෙලාගෙන යනවා වගෙ දෙයක් තමයි අද සී.ඩී. කරන ගායක ගායිකාවන්ට සිදුවන්නේ. අප සී.ඩී. නිකුත් කළාම ඒවා අරගෙන හොරෙන් සී.ඩී.වලට ගහලා විකුණන පිරිසක් ඉන්නවා. 

මොකක්ද ඒකට විසඳුම?

විසඳුමක් නැහැ. මේ ප්‍රශ්නය හින්දා තමයි හැමෝම අද තමන්ගේ ගීතයක් කරලා විෂුවල් එකක් කරන තත්ත්වයට පත්වෙලා ඉන්නේ. මේ ගැටලුව තියෙනතුරු කවුරුවත් අලුතින් ගීත ඇල්බම් කරන එකක් නැහැ.

රටේ පවතින නීතියක් තියෙනවා. ඔය ප්‍රශ්නයට ඒ තුළින් විසඳුම් ගන්න එක නේද පිළියම?

කලාකරුවෝ එහෙම කරන පිරිසක් නමෛයි. මේ ප්‍රශ්නය වගකිව යුතු අංශ  මගින් විසඳිය යුතු ප්‍රශ්නයක්. ළඟඳීම මේ සඳහා නිසි විසඳුමක් ලැබේවි කියල හිතනවා. 

“පූජනීයයි ආදරේ” තුළින් ඔබ නළුකමට එකතු වුණා. ඒත් ඒ ගමන එතැනින් නතර වුණා......?

ආරාධනා ගොඩක් ලැබුණා. ඒත් මගෙ පූර්ණ කාලයම යොදවල තියෙන්නේ සංගීතයට. ඒ හින්දා විවේකය අඩුයි. ආයෙම රඟපෑවත් රඟපාන්නේ සංගීත කටයුතුවලට හානි නොවන විදියට.

ඔබේ බිරිඳ තිළිණි ඔබ සමග ගැයූ “සුපෙම් සුවඳක් අරන්” ඉතා ජනප්‍රිය වුණා. ඇය ගායිකාවක ලෙස දුර නොගියේ ඔබේ සීමා තහංචි නිසාද?

පූර්ණ කාලීනව ගායිකාවක ලෙස රැඳෙන අදහසක් කවදාවත් තිළිණිට තිබුණේ නැහැ. ළඟඳී අපි දෙන්නා අලුතින් යුග ගීතයක් කළා. “මටත් වඩා මගෙ ගැන” කියන ඒ ගීතය දැන් අන්තර්ජාලයෙන් හා එෆ්.එම්. නාලිකාවලට මුදාහැරලා තියෙන්නේ. ඉදිරියේදි රූප රචනාවක් කරන්න හිතාගෙන ඉන්නේ.

පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්.....?

මගෙ ලොකු දුව රොමේෂාට දැන් වයස 8යි. පුතා ෂෙරොන්ට වයස 5යි. බාල පුතා රන්ධීව්ට තවම අවුරුදු 1 1/2යි.  දරු තිදෙනයි බිරිඳයි එක්ක මම බොහොම සතුටින් ජීවිතය ගෙවා දමනවා.

ආරියවංශ කුලතිලක
Lakbima Newspaper

0 comments:

Post a Comment